වසර 25කට අධික කාලයක් දහම් පාසල් පද්ධතිය වෙනුවෙන් අප්‍රතිහත සේවයක් කළ ගුරුභවතුන් ඇගයීම සඳහා ෆියුචර් ෆ්ලෝ (Future Flow) පදනම සංවිධානය කළ ‘දහම් ගුරු හරසර’ ප්‍රණාම උළෙල පසුගියදා දික්වැල්ලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දහම් ගුරුවරුන් උදෙසා ගෞරව නාම සන්නස්පත්‍ර ප්‍රදානය මෙහිදී සිදුකෙරුණු අතර, එම උදාර මෙහෙවර ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන්ගේ විශේෂ ඇගයීමට ලක්විය.
බුදුදහමේ ඉගැන්වෙන ‘පූජාච පූජනීයං ඒතං මංගල මුත්තමං’ යන උදාර සංකල්පය පෙරදැරිව, දශක දෙකහමාරකට වඩා වැඩි කාලයක් ඉරිදා දිනය දැයේ දරුවන් වෙනුවෙන් කැප කළ ගුරුවරුන් ඇගයීම ජාතික මෙහෙවරක් බව අනුරුද්ධ නාහිමියෝ මෙහිදී අවධාරණය කළහ. එමෙන්ම මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන්හිදී දික්වැල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලියන්වෙල සුමනසිරි නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඉටුකළ මානුෂීය මෙහෙවර ද උන්වහන්සේ සිහිපත් කළහ.
ෆියුචර් ෆ්ලෝ ජාත්‍යන්තර පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නුවන් චාමර මහතා සඳහන් කළේ, සිය පදනම මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ පළමු අදියර දකුණු පළාතෙන් ආරම්භ කළ බවයි. දහම් ගුරුවරුන් ඇගයීමට අමතරව, වෙහෙර විහාර ඉදිකිරීම, ජලය නොමැති පන්සල් 10කට දැනටමත් ජලය ලබාදීම සහ ඉදිරියේදී දහම් පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දීමට ද පදනම සැලසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල නියෝජනය කරමින් මහා සංඝරත්නය මෙන්ම ෆියුචර් ෆ්ලෝ පදනමේ මූල්‍ය අධ්‍යක්‍ෂ වී. සකුන්තලා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.














