නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟ මෙරට වෘත්තිකයන්ගේ සහ පොදු මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු මතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, ඕනෑම වෘත්තිකයෙකුට බියකින් හෝ තර්ජනයකින් තොරව ස්වාධීනව සේවය කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම රජයක මූලික වගකීමක් බවයි. නීතිඥවරුන්ට පමණක් නොව, රෝහල් පද්ධතිය තුළ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මේ වන විට බරපතල තර්ජන මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, වෘත්තිකයන්ට සිය සේවා පරිසරය තුළ සුරක්ෂිතව කටයුතු කිරීමටත් හැකි වන පරිදි වහාම විශ්වසනීය සහ ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.














