ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචනික ලෙස කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ නීතිඥවරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂය බැගින් වූ දඩ මුදල් නියම කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය අද (19) නියෝග කළාය. මීට අමතරව, පැමිණිල්ලේ පළමු සාක්ෂිකාරියට රුපියල් ලක්ෂ අට බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම විය. මෙලෙස දඬුවම් නියම වූයේ රම්පටි දේවගේ සමන් කුමාර සහ වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු නමැති නීතිඥවරයාටයි.
දෙවන විත්තිකරු වන ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු මහතා නොතාරිස්වරයෙකු ලෙස මෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කරන අයෙකි. 2009 මාර්තු මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පුද්ගලයෙකුට අයත් ඉඩමක් සින්නක්කර ඔප්පුවක් මඟින් වෙනත් අයෙකුට පවරා දෙන බව පවසමින් වංචනික ලෙස කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධි චෝදනා පහක් ගොනු කර තිබුණි.
විත්තිකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් ඔහු තිදරු පියෙකු බවත්, ඔහුගේ දරුවන් දෙදෙනෙකු ද නීතිය හදාරමින් සිටින බවත් පවසා දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන් සියලු චෝදනාවලට වරදකරුවන් කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය. වෘත්තීය මට්ටමින් විශ්වාසය තැබිය යුතු නිලධාරීන් මෙවැනි වංචාවලට සම්බන්ධ වීම පිළිබඳව අධිකරණයේ අවධානය මෙහිදී යොමු විය.














