ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ සිදුවිය. මෙම හමුව සිදුවූයේ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් භාරත් මණ්ඩපම් (Bharat Mandapam) හි පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදීය.
මෙහිදී නායකයන් දෙපළ ඉතා සුහදව අදහස් හුවමාරු කරගත් අතර, කලාපීය සහයෝගීතාව සහ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව ද මූලික අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සමඟ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හෑන්ස් විජයසූරිය මහතා ද එක්ව සිටී.
පෙබරවාරි 16 සිට 20 දක්වා පැවැත්වෙන මෙම පස්දින සමුළුවට රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45ක නියෝජිතයන් සහභාගී වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) දින සමුළුවේ ප්‍රධාන සැසිය ඇමතීමට නියමිත අතර, එහිදී මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගත ලෙස AI තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ ලංකාවේ දැක්ම ඉදිරිපත් කරනු ඇත.














