ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීමේ අරමුණින් වසර 14කට පසු මෙරට පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන “Expo 2026” සාර්ථක කර ගැනීම සඳහා වන විශේෂ සැලසුම් සාකච්ඡාවක් ඊයේ (18) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙය අමාත්‍යාංශ තුනක ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
දිනය: 2026 ජුනි 18 සිට 21 දක්වා
ස්ථානය: කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය (BMICH)
ඉලක්කය: මෙරට අපනයන ආදායම 10%කින් වර්ධනය කර ගැනීම සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය සපුරා ගැනීමට පදනම දැමීම.
මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් එක්ව සිටියහ. ප්‍රදර්ශනය සඳහා දේශීය අපනයනකරුවන්ගේ කුටි 750ක් සැකසීමට නියමිත අතර, ලොව පුරා විසිරී සිටින විදේශ දූත මණ්ඩල හරහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් 1500කට අධික පිරිසක් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇත.
ප්‍රදර්ශනයට ඇතුළත් ප්‍රධාන ක්ෂේත්‍ර අතර ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, තේ, කුළුබඩු, තොරතුරු තාක්ෂණය (ICT) සහ පුනර්ජනනීය බලශක්තිය වැනි අංශ ප්‍රමුඛ වේ. මීට අමතරව ආයෝජක සංසද, B2B හමුවීම් සහ දේශීය අනන්‍යතාව විදහා දක්වන සංස්කෘතික හා සූපශාස්ත්‍ර ප්‍රදර්ශන ද මෙහිදී පැවැත්වෙනු ඇත. ජපානය සහ බ්‍රසීලය වැනි රටවල් දැනටමත් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට ඉහළ උනන්දුවක් දක්වා ඇති බව ද මෙහිදී අනාවරණය විය.














