පසුගිය කාලසීමාව තුළ විවිධ දේශපාලනඥයන් වෙත නිකුත් කරන ලද ගිනිඅවි රැසක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඇතැම් ගිනිඅවි නිකුත් කරන ලද පුද්ගලයන් හෝ ඒවා දැනට පවතින ස්ථානයන් පිළිබඳව කිසිදු නිල දත්ත වාර්තාවක් නොමැති වීම බරපතල ගැටලුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවිධිමත් තත්ත්වයට විසඳුම් ලෙස වත්මන් ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය. 2024 වසරේදී සිදු කරන ලද විශේෂ ගිනිඅවි සමීක්ෂණය මඟින් මේ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, ඒ අනුව ගිනිඅවි පාලනය සඳහා දැඩි නීතිරීති හඳුන්වා දීමට නියමිතය.
ලෝකයේ අනෙකුත් දියුණු රටවල් ගිනිඅවි පාලනය සඳහා අනුගමනය කරන සාර්ථක ක්‍රියාපිළිවෙත් මේ දිනවල අධ්‍යයනය කරමින් පවතින බවත්, එම අත්දැකීම් ද ප්‍රයෝජනයට ගනිමින් මෙරට ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














