ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2025 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ ශේෂය රුපියල් මිලියන 175,712 (රුපියල් බිලියන 175.7) දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය 2024 වසරේ දෙසැම්බර් අග වාර්තා වූ රුපියල් මිලියන 157,957 ක අගය සමඟ සැසඳීමේදී රුපියල් මිලියන 17,755 ක හෙවත් 11.24% ක වාර්ෂික වර්ධනයකි. පාරිභෝගිකයන් එදිනෙදා ගෙවීම් කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් මත රඳා පැවතීම තවදුරටත් ඉහළ ගොස් ඇති බව මෙමගින් පැහැදිලි වේ.
දත්ත විශ්ලේෂණයට අනුව, හිඟ මුදල්වලින් වැඩිම කොටසක් වාර්තා වන්නේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පත් (Global cards) හරහා වන අතර එහි අගය රුපියල් මිලියන 136,220 කි. දේශීයව පමණක් පිළිගත් කාඩ්පත්වල හිඟ මුදල රුපියල් මිලියන 39,492 ක් ලෙස සටහන් වී ඇත. මීට අමතරව, සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. 2024 වසරේ පැවති ලක්ෂ 20 ක (2,008,456) පමණ වූ කාඩ්පත් ප්‍රමාණය 2025 වසර අවසානය වන විට ලක්ෂ 21 ඉක්මවා (2,166,186) ගොස් තිබීම විශේෂත්වයකි.
ජීවන වියදම ඉහළ යාම සහ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් ප්‍රචලිත වීම මෙම කාඩ්පත් භාවිතය ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ මුදල් මෙලෙස ඉහළ යාම බැංකු පද්ධතියේ ණය කළමනාකරණය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබඳව මහ බැංකුව අවධානයෙන් පසුවෙයි.














