ඇෆ්ගන් තලේබාන් පාලනය විසින් එල්ල කරන ලදැයි කියන දේශසීමා ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානය ආරම්භ කළ ‘ඔපරේෂන් ගසබ් ලිල් හක්’ (Operation Ghazab lil Haq) මෙහෙයුමෙන් තලේබාන් සටන්කාමීන් 133 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන රජය නිවේදනය කරයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ආරම්භ වූ මෙම මෙහෙයුම මගින් සටන්කාමීන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරර් මහතා ප්‍රකාශ කළේය.
මෙම මෙහෙයුමේදී කාබුල්, පක්ටියා සහ කන්දහාර් යන ප්‍රදේශවල පිහිටි තලේබාන් ආරක්ෂක මර්මස්ථාන ඉලක්ක කර ඇති අතර, එහිදී තලේබාන් පාලනයට අයත් මුරපොළවල් 27ක් විනාශ කර තවත් මුරපොළවල් 9ක් පාකිස්තාන හමුදා භාරයට ගෙන තිබේ. පාකිස්තාන ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් තලේබාන් හමුදා මූලස්ථාන, පතොරම් ගබඩා, සැපයුම් මධ්‍යස්ථාන සහ ටැංකි ඇතුළු යුද වාහන 80කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව පාකිස්තාන රාජ්‍ය රූපවාහිනිය (PTV) වාර්තා කළේය.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මහතා සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය ඉන්දියාවේ “ජනපදයක්” බවට පත් කරමින් තලේබාන් පාලනය ලොව පුරා ත්‍රස්තවාදීන් එරටට රැස් කරන බවයි. තලේබාන් පාලනය ඉන්දියාවේ නියෝජිතයෙකු (Proxy) ලෙස කටයුතු කරන බවට ඔහු බරපතළ චෝදනාවක් ද එල්ල කළේය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් යන මහත්වරුන් ප්‍රකාශ කළේ රටේ භූමියට සහ සාමයට තර්ජනයක් වන ඕනෑම ආක්‍රමණයක් පරාජය කිරීමට තමන් සූදානම් බවයි. වසර ගණනාවක් ඇෆ්ගන් සරණාගතයන්ට සෙවණ දුන් පාකිස්තානයේ ඉවසීම දැන් අවසන් වී ඇති බවත්, මෙය “විවෘත යුද්ධයක්” බවත් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














