ශ්‍රී ලංකාවේ බදු පරිපාලනය වඩාත් විධිමත් කිරීම සහ රජයේ ආදායම ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය පෙබරවාරි 24 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම යෝජිත සංශෝධන මගින් ප්‍රාග්ධන ලාභ මත පනවන බදු ඉහළ නැංවීම සහ රඳවා ගැනීමේ බදු (WHT) ජාලය පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මෙම යෝජනා බලාත්මක වීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය යුතුව ඇත.
යෝජිත නව බදු සංශෝධනවලට අනුව ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභ මත අය කෙරෙන ප්‍රාග්ධන ලාභ බද්ද පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා දැනට පවතින 10% සිට 15% දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. වඩාත් සුවිශේෂී කරුණ වන්නේ භාර (Trusts), ඒකක භාර (Unit trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මෙම බද්ද 10% සිට 30% දක්වා තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා කර තිබීමයි. මීට අමතරව බදු ගෙවීම පැහැර හැර ඇති අයට සහන කාලයක් ලබා දෙමින්, 2023 මාර්තු 31 දක්වා ගෙවා නොමැති බදු මත එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවරේ. එහෙත් එම සහනය හිමිවන්නේ නව නීතිය ක්‍රියාත්මක වී මාස හයක් ඇතුළත අදාළ මුල් බදු මුදල සහ දඩ මුදල් සම්පූර්ණයෙන් පියවන්නේ නම් පමණි.
බදු ක්‍රමය සරල කිරීමේ පියවරක් ලෙස 2026 අප්‍රේල් 1 සිට ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය (SET) ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට ද යෝජනා වී ඇති අතර, ඒ වෙනුවට පසුගිය වසරේ ආදායම පදනම් කරගත් වාරික ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත. එසේම, රඳවා ගැනීමේ බදු (Withholding Tax) ජාලයට අලුතින් වෘත්තිකයන් රැසක් ඇතුළත් කර ඇති අතර, විගණකවරුන්, තක්සේරුකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් මෙන්ම සමාජ මාධ්‍ය විශේෂඥයින්, සන්නාම තානාපතිවරුන් සහ නිදහස් වෘත්තිකයන්ට (Freelancers) සිදු කරන ගෙවීම්වලින් 5%ක් මූලාශ්‍රයෙන්ම කපා ගැනීමට මෙහිදී යෝජනා කර තිබේ.














