අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේදී පාසල් පද්ධතිය තුළ විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම සඳහා විධිමත් සහ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
මෙහිදී විදුහල්පතිවරුන් මුහුණ දෙන උසස්වීම් පිළිබඳ ගැටලු සහ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කඩිනම් යාන්ත්‍රණයක් සකස් කරන බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට ගෞරවනීය සහ තෘප්තිමත් සේවා පරිසරයක් නිර්මාණය කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් හඳුනාගෙන, සුදුසුකම් මත පදනම් වූ විධිමත් ස්ථානගත කිරීමේ ක්‍රියාපටිපාටියක් හරහා පාසල් පද්ධතියේ පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














