විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන බව කියන ශිෂ්‍ය මර්දනය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය අද (පෙබරවාරි 27) කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. කැලණිය, රුහුණ සහ විවෘත විශ්වවිද්‍යාල තුළ පනවා ඇති “රාත්‍රී සිසු ක්‍රියාකාරකම් තහනම” වහා ඉවත් කරන ලෙසත්, ශිෂ්‍ය නිදහස සීමා කරන බව කියන 02/2026 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා (UGC) චක්‍රලේඛය හකුළා ගන්නා ලෙසත් ඔවුහු බලකර සිටිති.
වත්මන් රජය මගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය පැවති පාලනයන්හි අසාර්ථක ප්‍රතිපත්තිවලම දිගුවක් බවට චෝදනා කරන භික්ෂු බලමණ්ඩලය, මෙය “ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්” ලෙස හඳුන්වයි. සරසවි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සහ මර්දනයෙන් තොර අධ්‍යාපන පරිසරයක් උදෙසා පෙළගැසෙන ලෙස ඔවුන් සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම විරෝධතාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය ඇතුළු ශිෂ්‍ය සංවිධාන රැසක සහයෝගය හිමිව තිබේ.
අද දහවල් කොළඹට රැස්වන විරෝධතාකරුවන් විවිධ මාර්ග ඔස්සේ පෙළපාලියකින් ගමන් කිරීමට නියමිත අතර, මේ හේතුවෙන් කොළඹ කොටුව සහ ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය නිවේදනය කරයි. ආරක්ෂක තත්ත්වය තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, විශ්වවිද්‍යාල බලධාරීන් ප්‍රකාශ කරන්නේ විනය සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් ඇතැම් සීමාවන් පැනවීමට සිදු වූ බවයි.














