මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ නමැත්තා ලබන මාර්තු 06 වනදා දක්වා දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (27) අවසර ලබා දුන්නේය. ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ සැකකරු, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
2016 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයකටම චෝදනා ලබා සිටින පොඩි ලැසී, බූස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ද කුප්‍රකට පුද්ගලයෙකි. 2024 දෙසැම්බර් මාසයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් අනතුරුව, පනවා තිබූ විදෙස් ගමන් තහනම ද උල්ලංඝනය කරමින් මොහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණි.
ඉන්දියාවේ මුම්බායි හිදී නීතිවිරෝධී ලෙස ඇතුළුවීමේ චෝදනාව මත 2025 වසරේදී අත්අඩංගුවට පත්වූ ඔහු, එරට බන්ධනාගාරගතව සිටියේය. ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අතර පැවති දීර්ඝ සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (26) ඉන්දියාවට ගිය නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අද අලුයම මෙරටට භාරගෙන ඇත. ඉදිරි දින 7 තුළ සිදුකරන ප්‍රශ්න කිරීම් මගින් මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයන් සහ සිදුවූ අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ බලාපොරොත්තු වේ.














