බටහිර සම්බාධක මගහරිමින් රුසියානු තෙල් ප්‍රවාහනය කිරීමට යොදාගන්නා ‘Shadow Fleet’ හෙවත් රහසිගත නැව් සමූහයට අයත් බවට සැකකෙරෙන තෙල් ටැංකියක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට බෙල්ජියම් විශේෂ බලකාය සමත් වී තිබේ. ‘Ethera’ ලෙස හඳුන්වන මෙම නෞකාව ගිනියා රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශ හෙලිකොප්ටර් යානා සහාය ඇතිව සිදුකළ සුවිශේෂී මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන ඇත. බෙල්ජියම් ආරක්ෂක අමාත්‍ය තියෝ ෆ්‍රැන්කන් (Theo Francken) මහතා පවසන්නේ මෙම නෞකාව ව්‍යාජ ලේඛන භාවිත කරමින් රුසියාව බලා යාත්‍රා කරමින් තිබූ බවයි.
මෙම නෞකාවේ කප්පිත්තා රුසියානු ජාතිකයෙකු වන අතර මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. රුසියාව විසින් මෙලෙස අබලන් වූ සහ නිසි රක්ෂණ ආවරණයක් නොමැති නැව් භාවිත කරමින් චීනය සහ ඉන්දියාව වැනි රටවලට බොරතෙල් ප්‍රවාහනය කරන බවට යුරෝපීය රටවල් දිගු කලක සිට චෝදනා කරයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම මෙහෙයුම අගය කරමින් පවසා ඇත්තේ රුසියාවේ ‘පාවෙන මුදල් පසුම්බියට’ එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් ලෙස මෙය සැලකිය හැකි බවයි.
රුසියාවට අයත් මෙවැනි රහසිගත නැව් 1,000කට අධික සංඛ්‍යාවක් සාගරයේ සැරිසරන බවට ප්‍රංශය ඇස්තමේන්තු කර ඇති අතර, ඒවා මගින් මුහුදු යටින් ඇති දත්ත කේබල් සහ ගෑස් නල පද්ධතිවලට හානි සිදුකරන බවට ද සැක මතු වී තිබේ. මෙම නෞකාව මේ වන විට බෙල්ජියමේ සීබ්‍රග් (Zeebrugge) වරාය වෙත රැගෙන විත් ඇති අතර එය රාජසන්තක කිරීමට නියමිතය. රුසියාව මෙම ක්‍රියාව ‘මුහුදු කොල්ලකෑමක්’ ලෙස හඳුන්වා ඇති අතර මෙය ජාත්‍යන්තර නාවික නීති උල්ලංඝනය කිරීමක් බවට ද චෝදනා කරයි.














