ඉරාන ප්‍රහාර සහ මැදපෙරදිග උණුසුම් තත්ත්වය හමුවේ ඉන්දියාවේ බලශක්ති, පොහොර සහ ආහාරයට ගන්නා තෙල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය අඩාල වීම වැළැක්වීමට නවදිල්ලි රජය කඩිනම් පියවර ගනිමින් සිටී. ඉන්දියාවේ සමස්ත බලශක්ති ආනයනයෙන් 55%ක්ම සිදුවන්නේ වර්තමානයේ ගැටුම් පවතින මැදපෙරදිග කලාපයෙන් වීමත්, ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) ප්‍රායෝගිකව වැසී යාමත් නිසා මෙම අවදානම මතු වී ඇත.
රතු මුහුද හරහා පවතින විකල්ප වෙළඳ මාර්ගය ද හවුති (Houthi) ප්‍රහාර හේතුවෙන් අවදානම් සහගත බැවින්, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වඩාත් ආරක්ෂිත කලාපවලින් තෙල් මිලදී ගැනීමට අවධානය යොමු කර තිබේ. මෙම ගැටුම්කාරී තත්ත්වය දිගු වුවහොත් ඇමෙරිකාව, වෙනිසියුලාව සහ රුසියාව වැනි රටවලින් බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායූ (LNG) ආනයනය තවදුරටත් විවිධාංගීකරණය කිරීමට ඉන්දියාව සූදානම් වේ.
විශේෂයෙන්ම රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීම ඉන්දියාව පසුගිය වසරේදී ඉහළ නංවා තිබුණද, ඇමෙරිකානු බලපෑම් මත 2026 ජනවාරි මාසයේ සිට එම මිලදී ගැනීම් සැලකිය යුතු ලෙස අඩු කර තිබුණි. කෙසේ වෙතත්, වත්මන් සැපයුම් දාම බිඳ වැටීමේ තර්ජනය හමුවේ යළිත් රුසියාව ඇතුළු විකල්ප මූලාශ්‍ර වෙත යොමු වීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත.













