අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව දියත් කර ඇති පුළුල් සහ විවෘත යුද මෙහෙයුම සාධාරණීකරණය කරමින් ඊයේ (02) සිය දීර්ඝතම ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කළේය. සති අන්තය ෆ්ලොරිඩාවේ ගත කිරීමෙන් පසු ධවල මන්දිරයට පැමිණි ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අමෙරිකානු-ඉශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සති හතරක් හෝ පහක් පුරා පවතිනු ඇතැයි මුලින් අපේක්ෂා කළ ද, අවශ්‍ය වුවහොත් එය ඊට වඩා වැඩි කාලයක් පවත්වාගෙන යාමට සූදානම් බවයි.
මෙම යුද මෙහෙයුම ආරම්භ වී දින කිහිපයක් ඇතුළත ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමටත්, ඉරාන යුද නෞකා 10ක් ගිල්වා දැමීමට සහ ඉලක්ක 1,000කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කිරීමටත් හමුදා සමත්ව ඇති බව වාර්තා වේ. “අපි දැනටමත් අපේ කාල රාමුවට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. නමුත් ඒ සඳහා කොපමණ කාලයක් ගත වුවත් එය ප්‍රශ්නයක් නැහැ,” යනුවෙන් ට්‍රම්ප් සිය ප්‍රකාශය මගින් අවධාරණය කළේය.
මීට පෙර “පාලන තන්ත්‍රය වෙනස් කිරීම” (Regime change) පිළිබඳව ඉඟි කළ ද, ඊයේ කළ ප්‍රකාශයේදී ට්‍රම්ප් ඒ පිළිබඳව සඳහන් නොකිරීම විශේෂත්වයකි. ඒ වෙනුවට ඔහු කියා සිටියේ, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම වැළැක්වීම සහ ඔවුන්ගේ දිගු දුර බැලැස්ටික් මිසයිල වැඩසටහන අඩපණ කිරීම මෙහෙයුමේ මූලික අරමුණු බවයි. න්‍යෂ්ටික අවි සහිත ඉරාන පාලනයක් මැදපෙරදිගට මෙන්ම අමෙරිකානු ජනතාවට ද දරාගත නොහැකි තර්ජනයක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, යුද්ධයේ අරමුණු සහ කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරයා සහ ධවල මන්දිර නිලධාරීන් වරින් වර පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. සෙනසුරාදා දිනයේදී ඉරාන වැසියන්ට “ඔබේ රට නැවත ලබාගන්න” යැයි පවසමින් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උනන්දු කළ ට්‍රම්ප්, ඉරිදා වන විට පවසා සිටියේ ඉරානය මෙහෙයවීමට ඉදිරිපත් වන ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි. මෙම අවිනිශ්චිතභාවය හේතුවෙන් යුද්ධයේ සැබෑ ප්‍රතිඵලය කුමක් වනු ඇත්දැයි ජාත්‍යන්තර ප්‍රජාව තුළ දැඩි කුතුහලයක් සහ සැකයක් මතුව තිබේ.














