ලබන සිකුරාදා (මාර්තු 06) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල විශේෂ වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මීට පෙර එදිනට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදය වෙනත් දිනකට කල් දමා ඇති අතර, ඒ වෙනුවට මෑතකදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන ප්‍රකාශනය විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.
ඒ අනුව එදින පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා එම විවාදය පැවැත්වෙන අතර පස්වරු 05.00ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය. කෙසේ වෙතත්, බදාදා (04) සහ බ්‍රහස්පතින්දා (05) දිනවල පාර්ලිමේන්තු කටයුතු මීට පෙර සැලසුම් කළ පරිදිම නොවෙනස්ව සිදුවන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.














