විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් තම ක්‍රීඩකයින්ට දැඩි මූල්‍ය දඬුවමක් පනවා තිබේ. ඒ අනුව එක් ක්‍රීඩකයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 18,000ක (රුපියල් ලක්ෂ 54කට අධික) දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මින් ඉදිරියට මූල්‍ය වරප්‍රසාද හිමිවන්නේ දක්ෂතා මත පමණක් බවත්, අනවශ්‍ය ලෙස ක්‍රීඩකයින් සුරතල් කිරීම නතර කරන බවත් බලධාරීන් ක්‍රීඩකයින්ට දැනුම් දී ඇත.
පෙබරවාරි 15 වැනිදා ඉන්දියාව හමුවේ ලැබූ පරාජයෙන් පසු මෙම දඩය පැනවීමට තීරණය කර තිබූ අතර, අවසන් පූර්ව වටයට පිවිසියේ නම් එය ඉවත් කිරීමට පොරොන්දු වී තිබුණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සමඟ පැවති තීරණාත්මක තරගයේදී ලකුණු 65ක ජයග්‍රහණයක් අවශ්‍යව තිබියදී පාකිස්ථානයට ලබාගත හැකි වූයේ ලකුණු 5ක පටු ජයග්‍රහණයක් පමණි. මෙම දඩය පැනවූවන් අතර විරාත් කෝලිගේ වාර්තාවක් බිඳ හෙළමින් තරගාවලියේ ලකුණු 383ක් රැස් කළ සහිබ්සාදා ෆර්හාන්ද ඇතුළත් වීම විශේෂත්වයකි. මෙය පාකිස්ථානය පිට පිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ සිව්වන ප්‍රධාන තරගාවලියයි.














