ඉරානයට එරෙහිව ඇමරිකාව ආරම්භ කර ඇති ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) යුද මෙහෙයුම හේතුවෙන් ඇමරිකානු ආර්ථිකයට සහ ආරක්ෂක අයවැයට දැවැන්ත බලපෑමක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. නවතම යුද වියදම් ඇස්තමේන්තුවලට අනුව, මෙම මෙහෙයුමේ පළමු පැය 24 තුළ පමණක් ඇමරිකානු රජය ඩොලර් මිලියන 779ක දැවැන්ත මුදලක් වැය කර ඇති අතර යුද්ධය ආරම්භ වීමට පෙර සිදුකළ හමුදා සූදානම සහ නෞකා කලාපයට ගෙන්වීම සඳහා පමණක් තවත් ඩොලර් මිලියන 630ක් වැය වී තිබේ. විශේෂයෙන්ම ‘USS Gerald R Ford’ වැනි එක් ගුවන් යානා වාහක නෞකා කණ්ඩායමක් නඩත්තු කිරීම සඳහා පමණක් දිනකට ඩොලර් මිලියන 6.5ක් වැය වන අතර වර්තමානයේ මෙවැනි නෞකා කණ්ඩායම් දෙකක් කලාපය තුළ රඳවා තැබීම නිසා නඩත්තු වියදම් පමණක් අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත.
බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වාර්තාවලට අනුව 2023 ඔක්තෝබර් සිට මේ දක්වා මැදපෙරදිග කලාපයේ යුදමය ක්‍රියාකාරකම් සඳහා ඇමරිකාව වැය කර ඇති සමස්ත මුදල ඩොලර් බිලියන 31.35ත් 33.77ත් අතර අගයක් ගන්නා බව සඳහන් වේ. මෙයින් ඩොලර් බිලියන 21.7ක් සෘජුවම ඊශ්‍රායලයට යුද ආධාර ලෙස ලබා දී ඇති අතර ඉතිරි ඩොලර් බිලියන 10කට අධික මුදල යේමනය සහ ඉරානය අවට ඇමරිකානු මෙහෙයුම් සඳහා වැය කර ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂක අයවැය ඩොලර් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබුණද, පවතින දැවැන්ත වියදමට වඩා ‘පැට්‍රියට්’ (Patriot) වැනි මිසයිල නාශක පද්ධතිවල පවතින සීමිත තොග අවසන් වීම පිළිබඳව යුද විශේෂඥයන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉරානයේ ඉලක්ක 1,250කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති මෙම මෙහෙයුම තවත් සති කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ඇමරිකානු බදු ගෙවන්නන්ට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද දැඩි බරක් වනු ඇත.














