ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. පසුගියදා අඹේවෙල මිල්කෝ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට පෙර විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ සමාගම වත්මන් රජය යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇති බවයි. එහි ලාභාංශ සේවකයන්ට සහ කිරි ගොවීන්ට ලබා දීමට පියවර ගැනීම හරහා දේශීය කර්මාන්තයට නව පණක් ලැබී ඇති අතර පෞද්ගලික අංශය සමඟ එක්ව ගොවීන් වෙත කිරි ගවයන් ලබාදීමේ වැඩසටහන් ද දැනටමත් ආරම්භ කර තිබේ.
ජාතික කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීයව සපුරාලන්නේ 40%ක ප්‍රමාණයක් පමණක් වන අතර ඉතිරි 60%ක හිඩැස සම්පූර්ණ කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම ‘Dairy Hub’ නමින් නව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා විසින් සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත. කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් පමණක් මෙම ක්ෂේත්රය තවදුරටත් පවත්වාගෙන යා හැකි බැවින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදීමට රජය කැපවී සිටියි.
වත්මන් ලෝක දේශපාලන තත්ත්වය සහ පවතින යුදමය වාතාවරණය හමුවේ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අතිශය වැදගත් බව අමාත්‍ය ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ආනයන මත යැපීම අවම කර දේශීය නිෂ්පාදනය වැඩි කිරීම එකම විසඳුම වන බැවින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව රජය නිරන්තරයෙන් අවධානය යොමු කරයි. රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව සකස් කරන සංවර්ධන සැලසුම් හරහා ඉදිරියේදී කිරි කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට දියුණු කිරීම රජයේ අපේක්ෂාවයි.














