1960 දශකයේ අතිශය ජනප්‍රිය වූ හිපි රොක් සංගීත තරුවක් මෙන්ම වියට්නාම යුද්ධයට එරෙහිව හඬ නැගූ ප්‍රමුඛතම ගායකයෙකු වූ “කන්ට්‍රි ජෝ” මැක්ඩොනල්ඩ් (Country Joe McDonald) වයස අවුරුදු 84ක්ව සිටියදී අභාවප්‍රාප්ත විය. පසුගිය ඉරිදා (මාර්තු 08) කැලිෆෝනියාවේ බර්ක්ලිහිදී ඔහු මෙලෙස සමුගත්තේ පාකින්සන් රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඇති වූ සංකූලතා හේතුවෙනි. ඔහුගේ වියෝව පිළිබඳ පුවත වසර 43ක් ඔහු සමඟ යුග දිවි ගෙවූ කැතී මැක්ඩොනල්ඩ් මහත්මිය විසින් තහවුරු කරන ලදී.
1969 වසරේ පැවති ලෝක ප්‍රකට වුඩ්ස්ටොක් (Woodstock) සංගීත උළෙලේදී ඔහු ඉදිරිපත් කළ “I-Feel-Like-I’m-Fixin’-To-Die Rag” නමැති ගීතය වියට්නාම යුද්ධයට එරෙහිව නැගුණු ප්‍රබලතම විරෝධතාවක් ලෙස ඉතිහාසයට එක්විය. ඇමරිකානු රජය වියට්නාමය වෙත සිය හමුදා යැවීමට එරෙහිව ලියැවුණු මෙම උපහාසාත්මක ගීතය, එවකට තරුණ පරපුර අතර පැවති කෝපය සහ කලකිරීම මනාව විදහා දැක්වීය. “Country Joe and the Fish” කණ්ඩායමේ නායකයා ලෙස ඔහු සිදුකළ මෙම නිර්මාණය නිසා ඔහුට විවිධ නීතිමය ගැටලුවලට මෙන්ම ප්‍රසංග තහනම් කිරීම්වලට ද මුහුණ දීමට සිදුවිය.
1942 වසරේ වොෂින්ටන් ඩී.සී. හි උපත ලැබූ මැක්ඩොනල්ඩ්, සිය නව යොවුන් වියේ සිටම ෆෝක්, බ්ලූස් සහ කන්ට්‍රි සංගීතයට ඇලුම් කළේය. වුඩ්ස්ටොක් උළෙලෙන් පසුව ද දශක කිහිපයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටි ඔහු, පාරිසරික ගැටලු සහ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ද ගීත නිර්මාණය කළේය. ඔහු යුද විරෝධියෙකු වුවද, 1950 දශකයේ අගභාගයේදී ඇමරිකානු නාවික හමුදාවේ සේවය කර තිබීම විශේෂත්වයකි. පසුකාලීනව වියට්නාම යුද්ධයෙන් පීඩාවට පත් සෙබළුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීමට ද ඔහු පුරෝගාමීව කටයුතු කළේය.














