මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි වාචික ගැටුමක් නිර්මාණය වී තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවන්නේ නම්, කලාපයෙන් “තෙල් ලීටරයක්වත්” අපනයනය කිරීමට ඉඩ නොදෙන බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඉරානය අවධාරණය කළේ “යුද්ධයේ අවසානය තීරණය කරන්නේ” තම සන්නද්ධ හමුදාවන් මිස ඇමරිකාව නොවන බවයි.
ඉරානයේ මෙම තර්ජනයට පිළිතුරු ලෙස ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ඉතා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන උපායමාර්ගික හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) තෙල් ගමනාගමනය අවහිර කිරීමට ඉරානය පියවර ගතහොත්, ඔවුන්ට මෙතෙක් එල්ල වූවාට වඩා “විසි ගුණයක” (20 times harder) දැඩි ප්‍රහාරයක් එල්ල කරන බව ඔහු පවසා ඇත. ඉරානයට යළි කිසි දිනක ගොඩනැගිය නොහැකි වන පරිදි එරට ඉලක්ක විනාශ කරන බවට ද ඔහු එහිදී තර්ජනය කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලොව දිනපතා පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ලොව වඩාත්ම සංවේදී මුහුදු මාර්ගයයි. මෙම මාර්ගය අවහිර වුවහොත් ලෝක වෙළඳපොළේ තෙල් මිල අසීමිත ලෙස ඉහළ යා හැකි අතර, එය ගෝලීය ආර්ථික අර්බුදයකට ද මඟ පෑදිය හැකිය. ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රකාශය අවසන් කර ඇත්තේ “එවැනි විනාශකාරී තත්ත්වයක් ඇති නොවනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන” බව පවසමිනි. කෙසේ වෙතත්, දෙපාර්ශවය අතර පවතින මෙම දැඩි ස්ථාවරයන් හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුද බියක පසුවෙයි.














