ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ තිබූ ඉරාන යුද නෞකාවට ඇමරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක අංශ මගින් මෙරටට කල්තියා කිසිදු දැනුම්දීමක් සිදු කර නොතිබූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රටවල් දෙකක් අතර පවතින යුදමය වාතාවරණයක් තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර තෙවන පාර්ශවයකට ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.
මුහුදු ප්‍රදේශයේ මෘත දේහ සහ ජීවිතාරක්ෂක ජැකට් පාවෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වූ බවත්, එහිදී පුද්ගලයින් 32 දෙනෙකු ජීවතුන් අතර සිටියදී බේරා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළා. සිද්ධියෙන් මියගිය කිහිප දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.














