මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් නිර්මාණය වී ඇති ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්ධන පරිභෝජනය හැකිතාක් අවම කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (10) ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටිමින් ජාතික වගකීමක් ලෙස ඉන්ධන පිරිමසා ගැනීමට කටයුතු කිරීම මෙවැනි අවස්ථාවක අත්‍යාවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.
ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, පසුගිය දිනවල ඇති වූ ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බිය හේතුවෙන් ජනතාව විශාල වශයෙන් ඉන්ධන තොග රැස් කිරීමට පෙළඹුණු බවයි. ජනතාව මෙලෙස අධික ලෙස ඉන්ධන මිලදී නොගත්තේ නම්, මෙම මස අවසානය දක්වාම පරණ මිල ගණන් යටතේ ඉන්ධන ලබා දීමට හැකියාව තිබූ බවද ඔහු පෙන්වා දුන්නා. පවතින අර්බුදය සමස්ත ලෝකයටම බලපාන බැවින්, සාමූහිකව පරිභෝජනය සීමා නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානමකට මුහුණ දීමට සිදු විය හැකි බවට ඔහු අනතුරු ඇඟවූවා.














