මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉවුම් පිහුම් ගෑස් සැපයුම සීමා වීම නිසා ඉන්දියාව පුරා හෝටල් සහ අවන්හල් පවත්වාගෙන යාමට අද (10) දිනයේ දැඩි බාධා එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. පවතින අර්බුදය හමුවේ ගෑස් අවශ්‍යතාවය සහ ඉල්ලුම සමාලෝචනය කිරීම සඳහා විශේෂ මණ්ඩලයක් පිහිටුවීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති අතර, සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් බොහෝ නගරවල අවන්හල් වසා දැමීමේ අවදානමක් මතුව තිබේ.
මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානයට එරෙහිව සිදුවන යුද ගැටුම් හේතුවෙන් ගල්ෆ් කලාපයේ සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නැව් ගමනාගමනය අඩාල වීමයි. ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන මෙම කලාපයේ ප්‍රවාහන කටයුතු ඇනහිටීම නිසා බලශක්ති මිල ගණන් සහ ප්‍රවාහන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙය ඉන්දියාව වැනි ඉහළ බලශක්ති ඉල්ලුමක් ඇති රටවලට සෘජුව බලපා ඇත.
කටාර් සහ සෞදි අරාබිය වැනි ගල්ෆ් කලාපීය රටවල අපනයන සහ නිෂ්පාදන කටයුතුවලට ද මෙම ගැටුම් නිසා බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ඉවුම් පිහුම් ගෑස් පමණක් නොව සමස්ත ඉන්ධන හිඟයක් ද ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම තත්ත්වය ඉන්දියාවේ සංචාරක සහ ආහාර සැපයුම් ක්ෂේත්‍රයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට ද ඉදිරි දින කිහිපය තුළ දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.













