ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය’ (World Press Photo Exhibition) තුළ අන්තර්ගත යුක්රේන-රුසියානු යුද්ධයට අදාළ ඡායාරූප ඉවත් කරන ලෙස බල කරමින් රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ප්‍රකාශන නිදහසට බාධා කිරීමට උත්සාහ කරන බවට නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිල වශයෙන් චෝදනා කරයි. මාර්තු 07-08 සති අන්තයේ කොළඹ වන් ගෝල් ෆේස් (One Galle Face) හී පැවැති මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි රුසියානු තානාපතිවරයා, අදාළ ඡායාරූප ඉවත් නොකළහොත් විරෝධතාවක් පවත්වන බවට අනතුරු අඟවා ඇති බව අද (10) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසන පරිදි, රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ද බලපෑම් කරමින් ලබන මාර්තු 13 සිට 17 දක්වා මහනුවර සහස් උයනේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයෙන් මෙම ඡායාරූප ඉවත් කිරීමට උත්සාහ දරා ඇත. ඇමෙරිකාව සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක කිසිදු වාරණයකින් තොරව ප්‍රදර්ශනය වන මෙම ඡායාරූප ඉවත් කිරීමට කරන බලපෑම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන්ම ජනතාවගේ දැනගැනීමේ අයිතියට එල්ල කරන තර්ජනයක් ලෙස නෙදර්ලන්තය හඳුන්වා දී තිබේ. කෙසේ වෙතත්, මහනුවර ප්‍රදර්ශනය කිසිදු වාරණයකින් තොරව සැලසුම් කළ පරිදි පවත්වන බවට තානාපති කාර්යාලය සහතික වී ඇත.














