මෙටා (Meta) සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලය ඊයේ (10) සිට දැඩි තාක්ෂණික බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම සෘජු පණිවිඩ හුවමාරු කර ගැනීමේදී (Direct Messages) ඇති වූ බාධාවන් හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් දහස් ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සේවාවන් බිඳ වැටීම් වාර්තා කරන Downdetector වෙබ් අඩවියට අනුව, කෙටි කාලයක් තුළ පැමිණිලි 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මින් වැඩිම පිරිසක් පවසා ඇත්තේ පණිවිඩ යැවීමට සහ ලැබීමට නොහැකි වී ඇති බවයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, චිකාගෝ, නිව්යෝර්ක් සහ වොෂින්ටන් වැනි ප්‍රධාන නගරවල සේවාවන් අඩාල වී ඇති බවට වැඩි වශයෙන් තොරතුරු වාර්තා වූ අතර සර්වර් සබඳතා සහ අලුතින් සටහන් (Posts) පළ කිරීමේදී ද ඇතැම් පරිශීලකයින්ට ගැටලු මතු වී තිබේ. ඉන්ස්ටග්‍රෑම් සේවාවන් අඩාල වීමත් සමඟ බොහෝ පිරිසක් X (ට්විටර්) වැනි අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අප්‍රසාදය පළ කර ඇති අතර, “Instagram Down” යන හැෂ්ටැගය ද සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ විය. මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් මෙටා සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, පවතින තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව විශ්වාස කෙරේ.
















