පසුගිය වසරේ සිට අක්‍රීයව පැවති වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව සමාගමක් සමඟ ඊයේ (10) ගිවිසුම්ගත විය. අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා සහ මෝටර් රථ ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිංහ මහතා සමඟ සවුත් ඒෂියන් ටෙක්නොලොජි (South Asian Technology) සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබීය.
මාස 10ක පමණ කාලයක් මුද්‍රණ කටයුතු නැවතී තිබීම හේතුවෙන් විශාල අංක තහඩු ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති අතර, නව සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවා එම හිඟය කඩිනමින් පියවීමට කටයුතු කරනු ඇත. නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මෙම ගිවිසුම්ගත වීම සිදු වූ අතර, ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ වාහන හිමිකරුවන් වෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














