ඉරානය සමඟ පවතින යුද ගැටුම්වල පළමු දින හය තුළ පමණක් අමෙරිකානු රජයට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව අමෙරිකානු පෙන්ටගනය එරට කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී තිබේ. ආරක්ෂක ප්‍රතිපාදන පිළිබඳ අනුකමිටුවේ ප්‍රධාන ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් (Chris Coons) මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මූලික ඇස්තමේන්තුවලට අනුව යුද්ධයේ පිරිවැය ඩොලර් බිලියන 11.3ක් පමණ වන බවයි. මෙයට පෙර වාර්තා වූ පරිදි, ගැටුමේ පළමු දින දෙක තුළ පමණක් අමෙරිකානු හමුදා ඩොලර් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් පතොරම් සහ අවිආයුධ භාවිතා කර ඇත.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා පැවති රැළියකදී ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව දැනටමත් ඉරානයට එරෙහි යුද්ධය “ජයග්‍රහණය කර” ඇති බවයි. යුද්ධය ආරම්භ වී පළමු පැය ඇතුළත එය අවසන් වූ බව ඔහු පැවසුවද, ඒ පිළිබඳව ස්ථිර සාක්ෂි මෙතෙක් ඉදිරිපත් කර නොමැත. යුද්ධය පවතින කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරයා විටින් විට පරස්පර අදහස් දක්වා ඇති අතර, මෙය සති හතරත් හයත් අතර කාලයක් ගතවනු ඇති බව හෝ මෙය ඉතා කෙටි කාලීන මෙහෙයුමක් (short excursion) වනු ඇති බවට ඔහු මීට පෙර අදහස් පළ කර තිබුණි.
කෙන්ටකි ප්‍රාන්තයේ පැවති මෙම ජනහමුවේදී ජනාධිපතිවරයා මෙම යුද මෙහෙයුමට ‘Operation Epic Fury’ යන නාමය තැබූ ආකාරය ද විස්තර කළේය. නිලධාරීන් විසින් යෝජනා කරන ලද නම් 20ක් පමණ අතරින් තමා මෙම නම තෝරාගත් බව ඔහු පවසා තිබේ. කෙසේ වුවද, යුද්ධය සඳහා වැයවන අතිවිශාල පිරිවැය හමුවේ එරට ආර්ථික විශේෂඥයන් සහ දේශපාලන විචාරකයන් සිය කනස්සල්ල පළ කර ඇත්තේ, මෙමගින් අමෙරිකානු මූල්‍ය ස්ථාවරත්වයට සහ ඉදිරි මැතිවරණ කටයුතුවලට එල්ල විය හැකි බලපෑම සලකා බලමිනි.














