ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ බිරිඳ වන මන්සූරේ ඛොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) මියගොස් ඇති බවට පළ වූ වාර්තා අසත්‍ය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ (මාර්තු 12) නිල වශයෙන් නිවේදනය කළේය. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ෆාර්ස් පුවත් ඒජන්සිය (Fars News) තහවුරු කරන්නේ ඇය ජීවතුන් අතර සිටින බවයි.
පසුගිය පෙබරවාරි 28 වනදා ටෙහෙරාන් නුවරට එල්ල වූ ඒකාබද්ධ ප්‍රහාරයකින් අයතුල්ලා අලි ඛමේනි මියගිය අතර, එම ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ ද මියගිය බවට මීට පෙර විවිධ මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ වෙතත්, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්ටාබා ඛමේනි සිය මවගේ අභාවය පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීමත් සමඟ මෙම කරුණ පිළිබඳ සැකය මතු විය.
සෑම විටම ප්‍රසිද්ධියෙන් ඈත්ව සිටින චරිතයක් වන ඇය, ඉරාන පාලක පවුලේ වඩාත්ම පෞද්ගලික සාමාජිකාව ලෙස සැලකේ. මෙම ප්‍රහාරයෙන් අලි ඛමේනිගේ දියණිය, ලේලිය සහ මුණුබුරන් ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වුවද, ඔහුගේ බිරිඳ එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන ඇති බව දැන් තහවුරු වී තිබේ.














