දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ කාර්මික සංවර්ධනය වේගවත් කිරීම රජයේ ප්‍රධානතම ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අද (13) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ වූ “INCO 2026” කාර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය විසින් 20 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මාර්තු 15 වනදා දක්වා පැවැත්වේ. රටේ ආර්ථික හා කාර්මික දත්ත එක්රැස් කරන “ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය” (NIIS) වැනි ඩිජිටල් වේදිකාවන් සහ කර්මාන්තකරුවන් සඳහා වන “ප්‍රතිචක්‍රීකරණ අරමුදල්” (Revolving Funds) හරහා රජය ලබාදෙන සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
ඉංජිනේරු ක්ෂේත්‍රය යනු රටක කාර්යක්ෂමතාව ඉහළ නංවන ප්‍රධාන බලවේගය බවත්, මෙවැනි ප්‍රදර්ශන හරහා ශිෂ්‍ය ප්‍රජාව නවෝත්පාදන සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. විදේශීය ආයෝජකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර තාක්ෂණය සහ නව වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමට ලැබුණු මනා පිටුබලයකි.













