මිලියන ගණනක වියදමින් 2013 වසරේ ඉදිකර, වසර 13ක පමණ කාලයක් භාවිතයට නොගෙන අතහැර දමා තිබූ මරඳගහමුල තොග වෙළෙඳ පොළේ පිහිටි රජයේ සහල් ගබඩා සංකීර්ණය යළි සක්‍රීය කිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වරෙක මෙරට සහල් මිල තීරණය කළ ප්‍රධානතම මධ්‍යස්ථානය වූ මරඳගහමුල වෙළෙඳපොළ තුළ රජයේ මැදිහත්වීම ශක්තිමත් කිරීම මෙම පියවරේ අරමුණයි.
අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ කුරුණෑගල වැනි ප්‍රධාන වී වගා කරන දිස්ත්‍රික්කවල සිට සහල් මෝල් හිමියන් සිය නිෂ්පාදන මෙම මධ්‍යස්ථානයට රැගෙන එන අතර, රජය සතු මෙම ගබඩා භාවිතයට නොගැනීම නිසා ඒවා කලක් විනාශ වෙමින් පැවතිණි. වත්මන් රජය යටතේ වී අලෙවි මණ්ඩලය සහ ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ඒකාබද්ධව, රජය මිලදී ගත් වී තොග සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදාහැරීම ආරම්භ කර ඇත. මෙමගින් ජාතික සහල් සැපයුම් දාමය ශක්තිමත් කිරීමටත්, සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමටත් හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර තිබේ.














