ගෝලීය ආර්ථික දත්තවලට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න හන්දියේ සිට මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (14) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කලින් බංකොලොත් තත්ත්වයක තිබූ මෙරට ආර්ථිකය දැන් විධිමත් සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ඉදිරියට යමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පසුගියදා ඇති වූ ස්වභාවික විපත්තිය හේතුවෙන් රටට රුපියල් ට්‍රිලියනයකට අධික පාඩුවක් සිදුවූ බවත්, සංවර්ධනය සඳහා වෙන් කළ මුදල් එම හානි පූර්ණය කිරීමට යෙදවීමට සිදුවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. කෙසේ වෙතත්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ වංචා හා දූෂණයෙන් තොරව ජනතාවට සහන සැලසීමට රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර ඇතිව ක්‍රියාත්මක i-Road ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 60ක වියදමින් මොනරාගල දිස්ත්‍රික්කයේ මෙම මාර්ගය සංවර්ධනය කෙරේ.














