ඉරානය සහ බටහිර රටවල් අතර පවතින දැඩි උණුසුම්කාරී වාතාවරණය හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා ඉන්දියානු නෞකා කිහිපයකට සීමිත ආරක්ෂිත අවසරයක් ලබාදීමට ඉරානය පියවර ගෙන තිබේ. ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි මහතා නවදිල්ලියේ පැවති ‘ඉන්දියා ටුඩේ’ සමුළුවේදී මේ බව අනාවරණය කළේය.
ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉරානය විසින් මෙම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනය අත්හිටුවා ඇති පසුබිමක, ඉන්දියාවට ලබා දුන් මෙම සහනය ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙම අවසරය හිමිවූ නෞකා සංඛ්‍යාව පිළිබඳව තානාපතිවරයා නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.














