අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්ම මහත්මීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා පෙළක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර තිබේ. මෙහි පළමු පියවර ලෙස බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 18 වැනිදා කතානායකවරයාට භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ලබන 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පසුබෑම හේතුකොට ගෙන අග්‍රාමාත්‍යවරියට එරෙහිවත්, පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සහ දූෂණ චෝදනා පදනම් කරගෙන කතානායකවරයාට එරෙහිවත් මෙම යෝජනා ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. කතානායකවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට සාධාරණ කාලයක් ලබා නොදෙන බවට ද විපක්ෂය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දැනටමත් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.














