ශ්‍රීලංකන් ගුවන් සමාගම 2024/2025 මූල්‍ය වර්ෂය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.16ක දැවැන්ත පිරිවැයක් දරා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 44ක කැපී පෙනෙන වැඩිවීමක් වන අතර, පසුගිය වසර හතර පුරාම ගුවන් ගමන් ප්‍රමාදවීමේ ප්‍රවණතාව අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. අදාළ මූල්‍ය වර්ෂය තුළ නියමිතව තිබූ ගුවන් ගමන් 46,518න් ක්‍රියාත්මක වී ඇත්තේ 23,055ක් පමණක් වන අතර ඉන් සියයට 29ක්ම ප්‍රමාදයන්ට ලක්ව තිබේ.
මෙම ප්‍රමාදයන් සඳහා තාක්ෂණික දෝෂ, කාර්ය මණ්ඩල හිඟය සහ දුර්වල නඩත්තු සැලසුම් ප්‍රධාන වශයෙන් බලපා ඇත. මීට අමතරව ගෝලීය සැපයුම් දාම ගැටලු, කුරුලු ගැටීම් වැනි අනපේක්ෂිත සිදුවීම් මෙන්ම ගුවන් යානා ඇණියේ පවතින සීමිත බව ද ගුවන් ගමන් බාධාවන්ට ඍජුවම හේතු වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම විගණන අංශ වෙත දැනුම් දී තිබේ. ජාතික ගුවන් සේවය මුහුණ දී ඇති මෙම මූල්‍ය හා මෙහෙයුම් අර්බුදය හේතුවෙන් මගී විශ්වාසය මෙන්ම සමාගමේ ලාභදායීත්වය ද දැඩි අභියෝගයකට ලක්ව ඇත.














