නිව්යෝර්ක් නගරයේ මූල්‍ය පීඩනය අවම කර ගැනීම සඳහා අමතර ආදායම් මාර්ග සොයමින් සිටින නගරාධිපති සොහ්රාන් මම්දානි (Zohran Mamdani), එරට දේපළ උරුම බදු හෙවත් Estate Tax පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් යෝජනා කර තිබේ. මෙම යෝජනාවට අනුව දැනට පවතින 16%ක උපරිම බදු අනුපාතය 50% දක්වා ඉහළ නැංවීමටත්, බදු නිදහස් කිරීමේ සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 7 සිට ඩොලර් 750,000 දක්වා කැපී පෙනෙන ලෙස පහත හෙළීමටත් නියමිතය.
නගරාධිපති කාර්යාලය විසින් ප්‍රාන්ත නීති සම්පාදකයින් වෙත යොමු කරන ලද අයවැය ලේඛනයක මෙම යෝජනා ඇතුළත් කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. නිව්යෝර්ක් නගරය මුහුණ දී ඇති දැවැන්ත මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස හඳුනාගත් ආදායම් උත්පාදන ක්‍රම කිහිපයක් අතර මෙම Estate බදු සංශෝධනය ප්‍රමුඛ තැනක් ගනී. මෙමඟින් නගරයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් වැඩි බදු ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන නමුත්, එමඟින් මධ්‍යම පාන්තික පවුල්වලට පවා බලපෑමක් එල්ල වනු ඇති බවට විවේචන එල්ල වෙමින් පවතී.














