හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද නැව් එවන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමට විකල්පයක් ලෙස, එම මුහුදු මාර්ගයේ ඇති බෝම්බ (Mines) ඉවත් කිරීම සඳහා විශේෂිත ඩ්‍රෝන යානා යැවීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කරමින් සිටී. බ්‍රිතාන්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි යුද නැව් යැවීම මඟින් දැනට පවතින අර්බුදය තවදුරටත් දරුණු විය හැකි බවයි. මේ නිසා නාවික ගමනාගමනයට බාධා පමුණුවන මිනී බෝම්බ ඉවත් කර තෙල් අපනයනය යළි ආරම්භ කිරීමට සහාය වීම සඳහා ගුවන් මිනී බෝම්බ නාශක (Aerial minesweepers) යොදා ගැනීමට අවධානය යොමු වී ඇත.
බ්‍රිතාන්‍ය බලශක්ති ලේකම් එඩ් මිලිබෑන්ඩ් (Ed Miliband) බීබීසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම අතිශය වැදගත් බවත් ඒ සඳහා බෝම්බ දඩයම් කරන ඩ්‍රෝන යානා (Mine-hunting drones) යොදා ගැනීම ඇතුළු විවිධ ක්‍රමවේද පිළිබඳව මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්ය. ඕනෑම විකල්පයක් මඟින් මුහුදු මාර්ගය විවෘත කර ගැනීම බ්‍රිතාන්‍යයේ මූලික අරමුණ වී තිබේ.
මේ අතර, ඉහළ යන බලශක්ති මිල හමුවේ පීඩාවට පත්ව සිටින බ්‍රිතාන්‍ය ජනතාවට සහන සැලසීම සඳහා පවුම් මිලියන දස දහස් ගණනක ආධාර පැකේජයක් අගමැති කීර් ස්ටාර්මර් විසින් අද (2026 මාර්තු 16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම ජීවන වියදම අඩු කිරීමට ඇති වේගවත්ම මඟ බව පෙන්වා දෙන අගමැතිවරයා, කලාපීය නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය අඛණ්ඩව රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ද අවධාරණය කිරීමට නියමිතය.














