බංග්ලාදේශය සමඟ පසුගිය ඉරිදා මීර්පූර්හිදී පැවැති තෙවන එක්දින තරඟයේදී විනිසුරු කුමාර් ධර්මසේන මහතා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) තරඟ තීරක නියාමුර් රෂීඩ් වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා පන්දු 2කදී ලකුණු 12ක් අවශ්‍යව තිබූ තීරණාත්මක මොහොතකදීය.
රිෂාඩ් හොසේන් යොමු කළ පන්දුවක් වයිඩ් (Wide) පන්දුවක් ලෙස විනිසුරුවරයා මුලින් සංඥා කළද, ක්‍රීඩාංගණයේ ඇති විශාල තිරයේ (Big Screen) එම පන්දුවේ රූප රාමු දිස්වීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම LBW තීරණයක් සඳහා විමසීම (Review) සිදුකළ බව පාකිස්ථාන පාර්ශවය චෝදනා කරයි. එම රූප රාමුවලින් පන්දුව පිත්තේ වැදී ඇති බව තහවුරු වීමත් සමඟ පෙර ලබාදුන් වයිඩ් තීරණය වෙනස් කිරීමට විනිසුරුවරයාට සිදු විය.
මෙම මතභේදාත්මක තීරණයත් සමඟ තරඟයෙන් ලකුණු 11ක ජයක් ලැබූ බංග්ලාදේශය එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය. විශාල තිරයේ රූප රාමු නැරඹීමෙන් පසු තීරණ විමසීම ක්‍රිකට් නීතිවලට පටහැනි බව පවසමින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම විරෝධතාව පළ කර තිබේ.














