මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති බලශක්ති අභියෝග හමුවේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා රාජ්‍ය සේවයට එක් දිනක නිවාඩුවක් ලබා දීම සහ රජයේ කාර්යාල පවත්වාගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු විය. විශේෂයෙන්ම නිවසේ සිට රාජකාරී කිරීමේ (Work from Home) ප්‍රායෝගික හැකියාව සහ නිලධාරීන් සේවා ස්ථානයට කැඳවීම පිළිබඳ තීන්දු ගැනීම ආයතන ප්‍රධානීන් වෙත පැවරීමට ද යෝජනා කෙරිණි.
අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, කෘෂිකර්ම සහ වරාය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කළ අතර, ඔවුන් විසින් අද දිනය තුළම වාර්තාවක් ලබා දීමට නියමිතය. එසේම ඉන්ධන සැපයුමේදී QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය දත්ත කඩිනමින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබා දීමටත් තීරණය විය.
පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර, කෘෂිකාර්මික හා සුළු පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා සහනාධාර ක්‍රමවේද සැපයීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. මෙම අසීරු අවස්ථාවේදී රටේ ආර්ථිකය සුරක්ෂිත කර ගැනීමට සියලු දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් එක්ව සිටියහ.














