අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සිවිල් වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසයි. මෙම “සමූලඝාතනය” සඳහා අමෙරිකානු හමුදා රඳවා සිටින සහ ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සිය භූමිය භාවිතා කිරීමට ඉඩ දී ඇති සමහර අසල්වැසි රටවල් සක්‍රීයව අනුබල දෙන බවට ඔහු චෝදනා කළේය.
අසල්වැසි රටවල් මෙම යුද්ධය සම්බන්ධයෙන් පවතින ඔවුන්ගේ ස්ථාවරය වහාම පැහැදිලි කළ යුතු බව අරග්චි ප්‍රකාශ කළේය. කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් අමෙරිකානු හමුදාවන්ට ඉරානයට පහර දීම සඳහා සිය භූමිය ලබා දී ඇති බවට ඔහු විශේෂයෙන් චෝදනා කළ අතර ඒ පිළිබඳව ඉරානය නිශ්ශබ්දව නොසිටින බව ද පැවසීය. මේ අවස්ථාවේ අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට හෝ සටන් විරාමයකට ඉරානය සූදානම් නැති බවත් අවශ්‍ය තාක් කල් යුද්ධය පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර රහසිගත සන්නිවේදනයක් පවතින බවට පළ වූ වාර්තා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබේ. සෞදි අරාබිය අවධාරණය කරන්නේ තමන් කලාපීය සාමය වෙනුවෙන් පෙනී සිටින බවත් ඕනෑම ප්‍රහාරයක් සඳහා සිය ගුවන් සීමාව ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත්ය.














