එළඹෙන මාර්තු 28 වැනිදා පැවැත්වීමට නියමිත 49 වැනි රාජකීය – ශාන්ත තෝමස් එක්දින ක්‍රිකට් තරගය (Mustangs Trophy) දහවල්-රාත්‍රී තරගයක් වෙනුවට දහවල් තරගයක් ලෙස පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ රට මුහුණ දී ඇති අභියෝග සැලකිල්ලට ගනිමින් සංවිධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත.
ජාතියේ යහපත උදෙසා ගනු ලැබූ මෙම තීරණය මගින් ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට අපේක්ෂා කරන බවත්, එය ශ්‍රී ලාංකේය පුරවැසියන් කෙරෙහි පවතින සමාජ වගකීම විදහා දැක්වීමක් බවත් 147 වැනි රාජකීය – ශාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුව පවසයි. විද්‍යාල දෙකේ විදුහල්පතිවරුන්ගේ උපදෙස් පරිදි ගනු ලැබූ මෙම පියවර සඳහා ආදි ශිෂ්‍ය සංගම් සහ අනුග්‍රාහකයන්ගේ පූර්ණ සහයෝගය හිමිව තිබේ.
වගකීම, සම්ප්‍රදාය සහ එකමුතුකම අගයමින් මෙම ඓතිහාසික ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් කැපවී සිටියි.














