බටපොල, වතුරවිල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් සහ සජීවී පතොරොම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකි වූ බව පොලිස් වාර්තා සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු වතුරවිල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බව අනාවරණය වී තිබේ. ඔහු විසින් භාවිත කරන ලද යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා සකස් කරන ලද්දක් වීම හේතුවෙන් මේ පිටුපස කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියක් සිටින්නේද යන්න පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














