නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් එහි විදුලි උත්පාදනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කරයි. පසුගිය ඉරිදා (15) දින බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් 810ක ධාරිතාව වෙනුවට උත්පාදනය කර ඇත්තේ මෙගාවොට් 678කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත්, මෙලෙස බලාගාර ඉතිහාසයේ පළමු වරට බාල ගල්අඟුරු භාවිත කිරීම නිසා බලාගාර ඒකක තුනෙහිම නිෂ්පාදන ධාරිතාව අඩුවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. බලාගාරයේ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සිදුවන පාඩුව විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පාරිභෝගිකයා මත පැටවීමට රජය සූදානම් වන බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.
ගල්අඟුරු බලාගාරවල නිෂ්පාදනය අඩුවන විට එම අඩුව පිරවීම සඳහා අධික පිරිවැයක් වැයවන ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, එමඟින් විදුලි නිෂ්පාදන වියදම විශාල ලෙස ඉහළ යන බවත් විපක්ෂ නායකවරයා පවසයි. මැදපෙරදිග පවතින ගැටලුකාරී තත්ත්වය හුවා දක්වමින් මෙම අමතර පිරිවැය පියවා ගැනීමට විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමට රජය උත්සාහ කරන්නේ නම්, ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් ඊට එරෙහිව මහජනතාව ඒකරාශී කරමින් දැඩි විරෝධයක් දක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බාල ගල්අඟුරු භාවිතය පිළිබඳ සත්‍ය තොරතුරු වහාම රටට හෙළි කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.














