රෝමන් ඒබ්‍රමොවිච්ගේ පාලන සමයේ සිදුවූ බව කියන මූල්‍ය රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෙල්සි පාපන්දු සමාජයට පවුම් මිලියන 10.75ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 14.27ක) දඩයක් නියම කිරීමට ප්‍රිමියර් ලීග් බලධාරීන් පියවර ගෙන තිබේ. මෙයට අමතරව වසරක අත්හිටුවන ලද ක්‍රීඩක හුවමාරු තහනමක් ද එම කණ්ඩායමට පනවා ඇත. 2011 සහ 2018 අතර කාලය තුළ ඒබ්‍රමොවිච්ට සම්බන්ධ පාර්ශවයන් විසින් ක්‍රීඩකයන් සහ ලියාපදිංචි නොකළ නියෝජිතයන් වෙත පවුම් මිලියන 47කට අධික රහසිගත ගෙවීම් සිදුකර ඇති බවට හෙළිවීම මෙම දඬුවමට හේතුවී තිබේ. ඊඩන් හසාර්ඩ්, විලියන් සහ සැමුවෙල් එටූ වැනි සුපිරි ක්‍රීඩකයන්ගේ මාරුවීම් සඳහා මෙම ගෙවීම් දායක වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
චෙල්සි කණ්ඩායමේ වත්මන් හිමිකාරීත්වය දරන ටොඩ් බෝලි ඇතුළු පිරිස විසින් මෙම අක්‍රමිකතා ස්වේච්ඡාවෙන්ම ප්‍රිමියර් ලීග් බලධාරීන් වෙත වාර්තා කිරීම විශේෂත්වයකි. එම සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ලකුණු කපා හැරීමකට (Points deduction) ලක් නොකිරීමට බලධාරීන් තීරණය කර තිබේ. කෙසේ වෙතත්, මෙම සිද්ධියටම අදාළව එංගලන්ත පාපන්දු සංගමය (FA) විසින් ද චෙල්සි කණ්ඩායමට එරෙහිව චෝදනා 74ක් ගොනුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේදී මූල්‍යමය දඬුවම් ලැබීමට ඉඩ ඇති බව වාර්තා වේ. මෙම තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් චෙල්සි පුහුණුකරු ලියම් රොසෙනියර් පවසා සිටියේ මෙය කණ්ඩායමේ ඉදිරි ගමනට බාධාවක් කර නොගෙන දීර්ඝකාලීන සැලසුම් සමඟ ඉදිරියට යන බවයි.















