රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (16) කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) හමුවට කැඳවා තිබුණි. එහිදී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ, අධිකරණයට ඉදිරිපත් කර ඇති පොලිස් බී වාර්තාවකට අනුව රජයට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු දක්වා ඇති බවයි.
තමන් සැමවිටම රජයේ ක්‍රියාකලාපයන් විද්‍යාත්මක සාක්ෂි සහිතව ප්‍රශ්න කළ බව ඔහු මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම කන්ටේනර් 323ක සිද්ධිය, වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඇති වූ විදුලි බිඳවැටීම සහ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව සම්බන්ධයෙන් රජය දැක්වූ අසමත්භාවය පිළිබඳව තමන් කරුණු ඉදිරිපත් කළේ නිසි සාක්ෂි සහිතව බව ඔහු පැවසීය. එසේම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය පිළිබඳව ද තමන් හෙළිදරව් කළ බවත්, එම කරුණු සම්බන්ධයෙන් හෙට (18) මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) හමුවේ කරුණු දක්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි විරෝධතා පවත්වන බවට ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.














