ඓතිහාසික මිහින්තලා පුදබිම නැරඹීමට පැමිණි ජර්මානු ජාතික කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත එම ස්ථානයේ සේවය කරන පුරාවිද්‍යා සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිස්වැනි වියේ පසුවන මෙම විදේශීය කාන්තාව ඊයේ (16) දින කණ්ඨක චේතීය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී, සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් සංචාරකයන්ට තහනම් කර ඇති ආරක්ෂිත කලාපයකට රැගෙන ගොස් මෙම අතවරය කිරීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ පුදබිම වැඳපුදා ගැනීමට පැමිණි තරුණයින් තිදෙනෙකු දැරූ උත්සාහය නිසා මෙම කාන්තාව බේරා ගැනීමට හැකි වී ඇති අතර, අනතුරුව ඇය විසින් මිහින්තලය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වින්දිත කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ද යොමු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් සඳහන් කළේ, දිනකට දේශීය හා විදේශීය බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන මෙවැනි පින්බිමක ආරක්ෂාව සඳහා යොදවා ඇත්තේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පමණක් බවයි. පුදබිමේ ආරක්ෂාව වහාම ශක්තිමත් කරන ලෙස උන්වහන්සේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කළහ. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














