මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් හඳුන්වා දුන් QR ක්‍රමවේදය යටතේ දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද (17) දිනයේත් සාර්ථකව සිදු කෙරේ. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට ඉන්ධන තොග අඛණ්ඩව නිකුත් කරන බවත්, ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නැති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරයි. මේ අතර, බලශක්තිය පිරිමැසීම සඳහා සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, පාසල් බස් රථ ගාස්තු 10%කින් වැඩි කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පියවර ගෙන ඇත. රජයේ මෙම තීරණයට අනුගත වෙමින් සියලුම ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ද බදාදා දිනවල නිවාඩු ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.














