2026 ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශ වූ නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පිරිනමනු ලබන සුප්‍රසිද්ධ “Everyone Wins” තෑගි මල්ල සඳහා මෙවර ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ‘සන්තානි’ (Santani) සුවතා නිකේතනය ද ඇතුළත් කර තිබේ. අමෙරිකානු ඩොලර් 350,000 ක් හෙවත් රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් මෙම සුඛෝපභෝගී තෑගි මල්ල ‘Distinctive Assets’ ආයතනය විසින් ස්වාධීනව නිෂ්පාදනය කරන ලද්දකි. මෙවර ඔස්කාර් නිර්දේශිත නාමයන් අතර සිටින ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ටිමති චැලමෙට්, මයිකල් බී. ජෝර්ඩන් සහ එමා ස්ටෝන් වැනි සුපිරි තරු සඳහා මෙම සුවිශේෂී තෑගි හිමි වේ. ශ්‍රී ලංකාවේ ‘සන්තානි’ නිකේතනය විසින් පිරිනමනු ලබන දින 10 ක සුවතා විවේකය (Wellness Retreat) මෙම තෑගි මල්ලේ ඇති වටිනාම අංගයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය විසින් දැනටමත් හඳුන්වා දී ඇත.
මෙවර තෑගි මල්ල සුඛෝපභෝගී සංචාර, රූපලාවන්‍ය ප්‍රතිකාර සහ නවීන තාක්ෂණික මෙවලම් රාශියකින් සමන්විත වේ. කොස්ටාරිකා සහ අයිබීසා දූපත්වල සුවිශේෂී විලා (Villa) නිකේතනවල නවාතැන් මෙන්ම ආක්ටික් කලාපයේ උත්තරාලෝකය (Northern Lights) නැරඹීමේ අවස්ථා ද මීට ඇතුළත්ය. රූපලාවන්‍ය අංශයෙන් බෙවර්ලි හිල්ස් හි සිනහව හැඩගැන්වීමේ ප්‍රතිකාර, ශරීරය හැඩගැන්වීමේ ලිපොසක්ෂන් ප්‍රතිකාර සහ ස්විස් නිෂ්පාදිත උසස් රූපලාවන්‍ය ආලේපන රැසක් මෙයට එක් කර ඇත. තවද රන්වන් පැහැති ක්‍රිප්ටෝ මුදල් ගබඩා කිරීමේ මෙවලම්, රන් කුඩු තැවරූ චොකලට් සහ ඉහළ වටිනාකමකින් යුත් ලේඛන පෑන් ද මෙහි අඩංගු වේ. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත නීතියට අනුව නීත්‍යානුකූල කර ඇති ගංජා (Cannabis) ආශ්‍රිත නිෂ්පාදන සහ අභිරුචි පරිදි සකස් කළ පූර්ව විවාහ ගිවිසුම් සකස් කිරීමේ අවස්ථා ද මෙයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
මෙමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ලෝකයේ ඉහළම තලයේ පුද්ගලයින් අතර ප්‍රචලිත වීමට විශාල අවස්ථාවක් හිමිවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ‘සන්තානි’ වැනි දේශීය සන්නාමයක් මෙවැනි ගෝලීය අවස්ථාවකට තේරී පත්වීම මෙරට සංචාරක කර්මාන්තයට මහත් අභිමානයකි. හොලිවුඩ් සුපිරි තරු මෙරට සංචාරය සඳහා පැමිණීම මඟින් මෙරටට ලැබෙන ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ඉදිරි සංචාරක වාරයන් සඳහා ද ඉමහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















