ඉරානය සමඟ පවතින ගැටුම් තෙවන සතියටත් එළඹෙත්ම, මැදපෙරදිග කලාපයේ ඇමරිකානු මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දහස් ගණනක අමතර හමුදා භට පිරිසක් යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සලකා බලමින් සිටින බව වාර්තා වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා තෙල් නැව්වලට ආරක්ෂිත ගමන් මගක් සලසා දීම සහ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වී තිබේ.
ඉරානයේ තෙල් අපනයනයෙන් 90%ක්ම සිදුවන ප්‍රධාන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත (Kharg Island) වෙත ගොඩබිම් හමුදා යැවීමේ හැකියාව පිළිබඳව ද ඇමරිකානු බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ‘Operation Epic Fury’ මෙහෙයුම යටතේ ඇමරිකාව මේ වන විට ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර 7,800කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර, ඉරාන නෞකා 120කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බව ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, ඉරානය තුළට ගොඩබිම් හමුදා (Ground Troops) යැවීම දේශපාලනික වශයෙන් ජනාධිපති ට්‍රම්ප්ට දැඩි අවදානමක් ගෙන දිය හැකි ක්‍රියාවකි. මේ වන විටත් මෙම ගැටුම් හේතුවෙන් ඇමරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. ඉරානයේ බැලස්ටික් මිසයිල බලය සහ නාවික හමුදාව මුළුමනින්ම විනාශ කිරීම ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රධාන ඉලක්කය වුවද, යුද්ධය දිගුකාලීන වීම ඇමරිකානු ජනතාවගේ අප්‍රසාදයට හේතු විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
















