සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා වත්මන් ජාතික ජනබලවේග රජයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය. එහිදී ඔහු ප්‍රධාන වශයෙන්ම හෙළිදරව් කළේ කොළඹ පිහිටි ඓතිහාසික ඔටස් ක්‍රීඩා සමාජයට (Otters Aquatic Club) අයත් අක්කරයක ඉඩම පෞද්ගලික සමාගමකට වසර 99කට බදු දීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳවයි. මෙම ඉඩම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී පවරාගෙන තිබූ අතර, එවකට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුව මෙම බදු දීම සිදු කිරීමට වත්මන් රජය ද පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
ප්‍රායිම් ලැන්ඩ් රෙසිඩන්ස් (Prime Lands Residencies) සමාගමට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම ලබා දීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා දැනටමත් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ වෙළඳ දැන්වීම් පවා ප්‍රචාරය වෙමින් පවතින බව පාදුක්ක මහතා පෙන්වා දුන්නේය. ඔටස් ක්‍රීඩා සමාජය සතුව පවතින වසර 10ක වලංගු බදු ගිවිසුම අභිබවා යමින්, එය වසරක තාවකාලික ගිවිසුමකට සීමා කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් බලපෑම් කරන බවත්, මෙය දැවැන්ත වංචාවක් බවත් ඔහු චෝදනා කළේය. විනිවිධභාවය ගැන කතා කළ වත්මන් පාලනය, පසුගිය රජයන්ටත් වඩා දරුණු ලෙස දූෂිත ගනුදෙනුවල නිරත වන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව, රටේ වත්මන් ඉන්ධන අර්බුදය සහ ගෝලීය අභියෝග කළමනාකරණය කිරීමට රජය අසමත් වී ඇති බව ද ඔහු පැවසීය. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමේ අවදානම සහ ඉන්ධන සැපයුම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල්තියා කළ අනතුරු ඇඟවීම් රජය නොසලකා හැරීම නිසා අද ජනතාව පීඩාවට පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. වත්මන් පාලකයන් අර්බුද කළමනාකරණය කළ නොහැකි “පේමන්ට් කතිකයන්” පිරිසක් බවට පත්ව ඇති බව පවසමින්, මෙම දූෂිත ඉඩම් ගනුදෙනුව වහාම අහෝසි කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
















